බෝධිරාජ විද්‍යාලයෙහි ඉතිහාසය පිළිබද තොරතුරු සොයා යාමේදී එය 1 AB පාසලක් බවට පත්වීමට පෙර පැවති තත්වය පිළිබද මතකය අවධි කිරීම වැදගත් වේ. ප්‍රදේශවාසීන්ගෙන් ලබා ගත් තොරතුරුවලට අනුව මෙම පාසලට දීර්ඝ ඉතිහාසයක් තිබුණද පිළිගත හැකි සාක්ෂි දුලබය. නිල නොවන විවිධ අරංචි මාර්ග හා ප්‍රදේශයේ වියතුන්ගේ අදහස්වලට අනුව මෙය පාසල් දෙකක සංකලනයකි. දැනට ශත වර්ෂයකට පමණ පෙර පැපිලිය වල ගැහැනු පාසලක් විය. එම පාසල පිහිටි ඉඩම අද “ස්කෝලවත්ත ” නමින් හැඳින් වේ. එය පසුකාලයක පූගොඩ උසාවිය අසල ඉඩමකට ගෙන ආ බවත් පසුව ඕවිටිගම දැනට කණිෂ්ඨ විද්‍යාලය පවත්වන පැරණි ගොඩනැගිල්ලට ගෙන ආ බවත් පැරැන්නෝ කියති. පැපිලියවල පාසල නමින් හැඳින්වූ එම පාසල ඕවිටිගම ආණ්ඩුවේ පාසල ලෙස ව්‍යවහාරයට පත්විය.
වර්තමාන බෝධිරාජ විද්‍යාලය පිහිටි ස්ථානයේ ඇති ප්‍රධාන ශාලාව 1900දී පමණ රජයෙන් සාදවා ගැහැනු පාඨශාලාව එහි පවත්වා ගෙන ආ නමුත් පසුකලෙක එය පිරිමි ළමුන් සඳහා වෙන් විය. පිරිමි ගැහැනු වශයෙන් වෙන් වෙන්ව පැවති පාසල 1960-05-13 දින තුන්වන පන්තියේ සිට අ.පො.ස සාමාන්‍ය පෙළ තෙක් උගන්වන මිශ්‍ර පාසලක් වශයෙන් ප්‍රතිසංවිධානය විය. තවද 1961-01-01 දින මහා විද්‍යාලයක තත්වයට උසස් කෙරිණි. 1988න් පසු පාසලේ විවිධ නැගිම් හා පසුබැම් ඇති වූ අතර 2010 වර්ෂයේ අවසානය වන විට පාසලේ අධ්‍යාපනය, විනය, ක්‍රීඩා,පාසල් පරිසරය, භෞතික සම්පත්, ආදී සියලු අංශවල කඩා වැටීමක් දක්නට ලැබිණ. මේ නිසා හැකියාවක් සහිත සෑම දෙමව්පියෙක් ම තම දරුවන් වෙනත් පාසල්වලට ඇතුළත් කර ගැනීම නිසා 1000 ඉක්මවා සිටි ශිෂ්‍ය සංඛ්‍යාව 532 දක්වා අඩු විය. ගුරුවරුන්ටද විශාල මානසික පීඩනයකට යටත් ව තම රාජකාරි කටයුතු කරන්නට සිදුවූ අතර මෙම වාතාවරණය තුළ කිසිදු විදුහල්පතිවරයෙකු මෙම පාසලේ වැඩ භාර ගැනීමට පවා කැමැත්තක් දක්වා නොමැත.
මේ අතර 2010.12.31 දින නව විදුහල්පති ලෙස වැඩභාරගත් පාලිත ලියනගේ මහතා එකිනෙක ගැටලු ලිහා ඉතා සංයමයෙන් පාසල නව මාවතකට ගෙන ඒමට දක්වන කැප කිරීම, සිසු ගුරු දෙගුරු සැමගේ ප්රසංශාවට හේතු විය. “හොඳම දේ දරුවන්ට” යන සංකල්පය අනුව දරුවන්ට පාසල තුළ සතුටින් ඉගෙනීමට සුදුසු පරිසරයක් නිර්මාණය කරමින් විනය හා අධ්‍යාපනය නගා සිටුවීම සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන ලදී.
2011 වර්ෂය වන විට පාසලේ විනාශ මුඛයට ඇද දමා තිබු භෞතික සම්පත් නැවත දරුවන්ට ලබා දීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු විය. එහිදී පාසලේ පැරණිම ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරිම, සියලුම ගොඩනැගිලිවල වහල අලුත්වැඩියා කිරීම, දරුවන්ට ප්‍රමාණවත් ජල හා වැසිකිළි පහසුකම් ලබාදීම, ලී කැටයම් සහිත නව බුදු මැදුර ඉදිකිරීම, කාර්යාලය නව ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීම, පුස්තකාලය නවීකරණය කිරීම, පාසල් පිවිසුම අලංකාර ලෙස වෙනස් කිරීම සිදුකරන ලදී.
2015 වර්ෂයේදී ද්විතීයක පාසල් දහසක් ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහනට ඇතුළත් වූ මෙම පාසලට ලක්ෂ 200 ක වටිනාකමින් යුත් උසස් පෙළ විද්‍යාගාර, පරිගණක විද්‍යාගාර සහිත තාක්ෂණ විද්‍යාගාරයක් ලබාගැනීමට හැකි විය. 2016 වර්ෂයේ ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ පාසල් පරිශ්‍රය සහ ක්‍රීඩා පිටිය වටා ආරක්ෂක තාප්පය ඉදිකිරීම, ඒකක 6කින් සමන්විත කාන්තා වැසිකිළි පද්ධතිය සහ 2018 වර්ෂයේදී ප්‍රධාන ශාලාව සහිත තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භ කිරීමද මෙම කාලය තුළ සිදු විය. ගුරුභවතුන්ගේ ඉමහත් කැපවීම, දරුවන්ගේ හා දෙමව්පියන්ගේ සහයෝගය මත ඕවිටිගම බෝධිරාජ මහා විද්‍යාලය ප්‍රදේශයේ ඉතා ජනප්‍රිය පාසලක් බවට පත්වී ඇත. 2015 වර්ෂයේදී උසස් පෙළ විද්‍යා විෂය ධාරාව ආරම්භ කිරීම නිසා 2018 සැප්තැම්බර් මස 06 වෙනි දින 1AB පාසලක් ලෙස උසස් කරන ලදී.
තවද ඕවිටිගම බෝධිරාජ මහා විද්‍යාලය 2021 වර්ෂයේ ජාතික පාසලක් ලෙස නම් කිරීමත් සමග පාසලේ නාමය බෝධිරාජ විද්‍යාලය (ජාතික පාසල) ලෙස සංශෝධනය කරන ලදී.





